අපේ ගමන් මග දෙස ආපසු හැරී බලමු….
ඓතිහාසික සබරගමු පලාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාවල නම් වූ සුන්දර ග්‍රාමය පිහිටා තිබේ. සමනල කඳු සිරස පිස හමා එන සීතල මද නල පහස විඳිමින් නිල්වන් කඳු වළලකින් වට වී ඇති රමණීය බිම් කඩක රන්ජන් විජේරත්න විද්‍යාලයේ පිහිටා තිබේ. පාසල අසලින් ගලා හැලෙන ගොමලු ඔය කොමලියගේ සිහින් සිනා හඬ අප පාසලේ සුන්දරත්වය තව තවත් වැඩි කරයි.
අප විද්‍යාලය ආරම්භ වී ඇත්තේ දැනට සියවසකට පෙර එනම් 1917 ජූලි මස 16 වන දින ය. ආණ්ඩුවේ ස්වභාෂා පිරිමි පාසල ලෙසින් ඇරඹූ මෙම පාසලේ ප්‍රථම මුල් ගුරුවරයා ලෙසින් සැලකෙන්නේ පී. ඩබ්ලිව්. දියෙස් මහතාය. පාසල ආරම්භ කරන දිනයේ දී පාසලේ ගොඩනැගිල්ල මිස පාසලට අවශ්‍ය කිසිදු වෙනත් භාණ්ඩයක් නොවීය. 1917 ජූලි මස 16 වන දින පාසල ආරම්භ කළ ද අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලද්දේ 1918 ජූලි මස 20 වන දින ය. ආරම්භක දිනයේ අධ්‍යාපනය සඳහා සිසුන් හත් දෙනකු පැමිණ තිබේ. මසකටත් අඩු කාලයකදී එනම් 1910 අගෝස්තු 10 වන දින වන විට සිසුන් 79 දක්වා වර්ධනය විය.
ප්‍රදේශයේ ගැහැණු දරුවන්ටද අධ්‍යාපන ලබා දීමේ අරමුණින් 1922 ජනවාරි මස 9 වන දින ආණ්ඩුවේ ස්වභාෂා බාලිකා පාඨශාලාව නම් වූ ගැහැණු පාසලක්ද ඇරඹුණු අතර එහි ප්‍රථම ගුරුවරිය ලෙස ඩී. එම්. ලුසි නෝනා මහත්මිය සේවය කළාය. එකම භූමියක පැවැති පිරිමි පාඨශාලාව සහ ගැහැණු පාඨශාලාව වැටකින් වෙන් කර පවත්වාගෙන ගිය බවට තොරතුරු සඳහන් වී තිබේ.
එතැන් පටන් අද දක්වා පනාවල ගම් පියසට මිණිපහනක් ව ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණ පහන දල්වමින් පනාවල රන්ජන් විජේරත්න මහා විද්‍යාලය කීර්තිමත් මාවතක ගමන් කරමින් සිටියි.